PRESIDENT MESSAGE

















ගෞරවනීය ස්වාමීන් වහන්ස,
පූජකතුමනි, පූජකතුමියනි,
දයාබර අම්මේ තාත්තේ, සහෝදරයා සහෝදරිය,

රටේ ආනාගතය අධ්‍යාපනයයි. එය සුරැකීම අපේ වගකීමයි.


ශි‍්‍ර ලංකාව පෞඩ වූ ඉතිහාසයකට උරුමකම් කියන්නේය. අභිමාණනීය සංස්කෘතියකට උරුමකම් කියන්නේය.ලෝකයා ඉදිරියේ ඒ ඉතිහාසය ඒ සංස්කෘතිය නිර්මාණය කරන්නට අධ්‍යාපන ක්ෂේත‍්‍රය ලබා දුන්නේ අනුපමේය මෙහෙයකි. බුත්සරණ,අමාවතුර,සද්ධර්මරත්නාවලිය වැනි කෘති පමණක් නොව සැලලිහිණි,ගිරා,කොවුල් ආදී සංදේශ කාව්‍යයන් ද ශි‍්‍ර ලාංකේය ඉතිහාසය පෝෂණය කලේය.ශි‍්‍ර ලංකාව ලෝකයා ඉදිරියේ තහවුරු වුයේ අතීත ශි‍්‍ර විභූතිය නිසාම පමණක් නොව ලොව කිසිදු රටකට නොදෙවෙනි අධ්‍යාපනය ක‍්‍රමවේදයක් අප රටේ මිනිසුන් තුල ගොඩනැගී තිබූ නිසාවෙනි.
අධ්‍යාපනයේ සම අයිතිය ඇති කරනු වස් කි‍්‍රස්ටොපර් විලියම් විජේකෝන් කන්නංගර මහාත විසින් එවකට රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ඉදිරිපත් කරන ලද නිදහස් අධ්‍යාපන පනතින් මේ රටේ දරු පරම්පාරාවට කිසිදු භේදයකින් තොරව අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවුරු කරන්නට ගරු කලයුතු උත්සහයක් ගන්නා ලදි.ඔබත්,මමත් එතුමාට නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුධාවලියෙන් ආමන්ත‍්‍රණය කරන්නේ ඒ නිසාවෙනි.
නිදහස් අධ්‍යාපන අයිතිය අරක්‍ෂාකර ගැනීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවීය.ඉගෙන ගැනීමට ඇති අයිතිය මුදල් ඇති පන්තියකට පමණක් සීමා කරගන්නට ගන්නා වූ උත්සහයන් හමුවේ මෙන්ම අධ්‍යාපනය ලාභ ලැබීමේ ව්‍යාපාරයක් කර ගැනීමට දරන්නා වු උත්සහයන් ව්‍යර්ත කර නිදහස් අධ්‍යාපනය අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීමට වෙනුර,නිෂ්මි,ති‍්‍රමා,රාජරත්නම් ඇතුලූ සරසවි මෙන්ම පාසල් ශිෂ්‍යයන් දහස් ගණනකට තම ජීවිතය පුදන්නට සිදුවිය.නිදහස් අධ්‍යාපනය මේ අයුරින් හෝ රැකී තිබෙන්නේ ඔවුන්ගේ කැපකිරීම් නිසාවෙනි.ඔවුන්ට අද ද ගෞරව කරන්නේ ඒ නිසාවෙනි.
වර්තමානය වන විට අධ්‍යාපනයට පාලකයන් අත්කර ඇති ඉරණම කෙතරම් ද යත් උසස් පෙල අධ්‍යාපනයට අත්ව ඇති තත්ත්වය දෙස මනාව අවධානය යොමුකල හොත් ඔබට තේරුම්ගත හැකිය.බොහෝ අවස්ථාලදී ඔබේ දරුවා පාසලේ අධ්‍යාපනයට වඩා යොමුවී තිබෙන්නෙ පෞද්ගලික උපකාරක පන්තිවලට නොවේද? අධ්‍යාපන කඩ හා මුදලාලිලා බිහි වී ඇති ආකාරයට හොඳම නිදසුන් වන්නෙ රට පුරා ඇති දැන්වීම් පුවරු හා තාප්පය.අධ්‍යාපනය පාලකයන් විසින් සෝදා පාලූවට ලක්කර ඇති ආකාරයයි මේ.පාසල් අධ්‍යාපනය සඳහා දිර්ඝ කාලීන ප‍්‍රතිපත්තියක් නොමැතිකම හරහා අසරණ වන දෙමාපියන් හා දරුවන් උපකාරක පන්ති පිහිට පැතීම පුදුමයක් ද නොවේ.
අධ්‍යාපනය විකිණීම විවිධාකාර වේ.උසස් පෙල,සාමාන්‍ය පෙල පමණක් නොව ශිෂ්‍යත්වය සඳහා ද උපකාරක පන්තිවල අධ්‍යාපනය විකුණනවා සේම උපාධිය ද විකිණීමට පාලකයන් කිසිසේත්ම මැලි නොවී ඇත.පෞද්ගලික උපාධි කඩ ආරම්භ කිරීමත් රාජ්‍ය උපාධිය මුදලට විකිණීමත් ප‍්‍රතිපත්තිකර ගත් පාලකයන් ඉදිරියේ ලාංකේය දරු පරපුරේ අයිතින් වෙනුවෙන් සටන්කරන්නට සිදුව ඇත.
සරසවි සිසුන් ලෙස අප නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සමාජීය වගකීම ඉටු කරන්නෙමු.
මේ රටේ සුවහසක් මිනිසුන්ගේ බදු මුදල් වලින් අධ්‍යාපනය ලබන පුරවැසියන් ලෙස සමාජයට අපෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කරන්නට,මිනිසුන්ගෙ ජීවිතවලට වටිනාකම් එකතුකරන්නට, කලාව,සංස්කෘතිය රැකගන්නට ඒ හරහා ලෝකයා හමුවේ ශි‍්‍ර ලංකාව ඔසවා තබන්නට කැප වන්නෙමු.
දේශීය කලාව රැකගන්නට අන් කවර තැනකවත් සංවිධානය නොවන වැඩ සටහන් සරසවිය තුල සංවිධානය වන්නේ ඒ නිසාවෙනි.සාහිත්‍ය උලෙල,නාට්‍ය වැඩසටහන් සංවිධානය කරන්නේ ඒ නිසාවෙනි, අංකුර කලාකරුවන්ට සරසවිය ඔවුන්ගෙ හැකියාවේ තෝතැන්නක් බදුවන්නේය.
සිසුන් ලෙස අප අපගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කරන්නෙමු.නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට දිවි හිමියෙන් කැප වන්නේමු.අපිට ඒ සඳහා ශක්තිය,ධෛර්ය ඇත.එම නිසා අප මිනිසුන්ගේ අයිතිවාසිකම් රැක ගැනීම වෙනුවෙන් සහෝදරත්වයෙන් පෙල ගැසෙන්නෙමු.

නන්දික ගුණසේකර
සභාපති
මහා ශිෂ්‍ය සංගමය